ශ්‍රීපාද කන්දට වඩා මඳක් උසින් අඩු අපේ රටේ සුන්දරතම ස්ථානයක් බලන්න යමු

අද අප ඔබව කැඳවාගෙන යන්නේ අපේ රටේ තිබෙන ඉතාමත්ම සුන්දර, දැකුම්කළු ස්ථානයකට. ඒ නන්පේරියල් වත්ත සහ නැග්රක් බංගලාවට යි. මෙහි තිබෙන වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අතිසුන්දර බව නිසාම මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවිශේෂ අවධානයට ලක් වෙන ස්ථානයක් බව කිව යුතුයි.

කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පසුකර කිලෝමීටර් 2 ක් පමණ ගියවිට නන්පේරියල් හන්දිය හමුවෙනවා. එතැන සිට හෝර්ටන්තැන්නේ මායිම වන මෙම නන්පේරියල් වතුයායේ ඉහළට කිලෝමීටර් 15ක දුරක් තිබෙන බවයි සිතියමේ දක්වන්නෙ. මෙහි නිතර යන එන සංචාරක කණ්ඩායම් පවසන්නේ මේ ගමන් මාර්ගය කිලෝමීටර් විසි දෙකකට ආසන්න දුරකින් යුතු බවයි. වතුයායේ ඉහළ ම කොටසේ නැග්රක් බංගලාව පිහිටා තිබෙනවා. මෙම සම්පූර්ණ දුර යාමේදී ඉතා අසීරු වැලමිටි වංගු 33ක් පසු කළ යුතුයි. නන්පේරියල් හන්දියේ ඉඳලම නගින්න තියෙන්නෙ කන්ද. ලෝකාන්තයට පෙනෙන පල්ලම තමයි මේ විදිහට නගින්න තියෙන්නේ. හෝර්ටන් තැන්නෙන් ලෝකාන්තයට යන කෙනෙකුට පහළ බැලූ විට දිස් වන්නේ මෙම නන්පේරියල් වතු යායයි.

top 10 places to visit in sri lanka Top 10 travel places  places to visit in sri lanka with family

ඉතාමත් මනස්කාන්ත දිය ඇලි ගණනාවක්, සුන්දර පයිනස් වනාන්තර ආදිය පසු කරමින් ක්‍රම ක්‍රමයෙන් උඩටයි ඔබ මේ ගමන් කරන්නේ. පහළ තිබෙන්නේ දළ බෑවුම. යට තිබෙන්නේ ප්‍රපාතය. මෝටර් සයිකලයකින්, ත්‍රිරෝද රථයකින් හෝ එහෙම නැතිනම් ෆෝවීල් වාහනයකින් ඔබට මෙම ගමන යා හැකියි. මෙම වංගු ගනිද්දී අනිවාර්යෙන්ම වාහනය රිවර්ස් කරන්න වෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශ නිතරම පාහේ එක්වරම මීදුමෙන් වැසී යනවා. නමුත් නැවත විනාඩි පහක් ගත වෙන්නටත් පෙරම ඒ මීදුම නැති වී ගොස් පරිසරය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මෙය නිතර නිතර අත්දකින්නට ලැබෙන දෙයක්. ඒ නිසා මෙවැනි ගමන්වලදී වාහනය ඉතා හොඳ තත්වයේ තිබිය යුතු සේම, වාහනය පදවන රියදුරා ද අති දක්ෂයකු විය යුතුයි.

මේ ගමනේදී හමුවන ඉතාමත්ම සුන්දර ස්ථානයක් තමයි බේකර්ස් වංගුව. නමුත් මෙය පිහිටා තිබෙන්නේ නන්පේරියල් වතුයාය ඇතුලෙ. එම වතුයාය පෞද්ගලික සමාගමකට අයත් නිසා එතැනින් ඇතුල් වීමට අවසර ලබා ගත යුතු වෙනවා. ඔබ පැමිණි වාහනය මෙතැන නතර කර තබා යා යුතුයි. එහිදී ඔබට නැග්රක් බංගලාව දක්වා දුර පයින් යාමට හෝ එසේ නොහැකි නම් එතැන නවතා තිබෙන කැබ් රථයකට මුදල් ගෙවා එහි සේවය ලබාගත හැකියි. නමුත් ටිකට් පතක් රැගෙන මෝටර් සයිකල්වලට සහ ත්‍රිරෝදරථවලට ඇතුළට යාමට ඉඩ ලබා දෙනවා. ඔබේ වාහන ඇතුළට ගන්නට ඉඩ නොදෙන්නේ ඔබේ ආරක්ෂාව පිණිස විය හැකියි. උඩට යන්නට යන්නට පාර පටු වෙනවා. එය කොතෙක්ද කිවහොත් තනි වාහනයකට යා හැකි තරමට පාර පටුයි. නිතර මෙම පාරෙහි වාහන ගමන් කිරීමක් සිදු නොවන්නේ එලෙස ත්‍රිරෝද රථයකට හෝ මෝටර් සයිකලයකට මිස වාහනවලට යෑමට අවසර නොදෙන නිසයි.

top 10 places to visit in sri lanka Top 10 travel places  places to visit in sri lanka with family

මෙම මුළු ගමනේදීම වංගු 33 ක් හමුවන බව අප මුලින් සඳහන් කළා. බේකර්ස් වංගුව මෙම ගමනේ දී හමු වන 23 වෙනි වංගුවයි. මෙම බේකර්ස් වංගුව පිහිටි ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 5000 උසකින් යුතුයි. එතැන සිට බැලූ විට සමනල වැව සහ බලංගොඩ ප්‍රදේශයත්, දකුණු පළාතේ හම්බන්තොට ප්‍රදේශයත්, හෝර්ටන් තැන්නට සීමා වූ කඳු පන්තියත්, ඉහළින් දිස් වන නැග්රක් බංගලාවත් වැනි බොහෝ සුන්දර ස්ථාන දැකබලා ගත හැකියි. බේකර්ස් වංගුව view point එකක්.

නන්පේරියල් වතුයාය ගොඩනගන්නේ අපේ රටේ ඉංග්‍රීසි පාලන සමයේදී ඒ. වී. බේකර්ස් නැමැති සුදු ජාතිකයායි. දැක්කම පුදුම හිතෙන තරමේ මෙම මාර්ග පද්ධතිය නිර්මාණය කරන්නේ ඔහුයි. ඉහළට යනවිට මෙම මාර්ග පද්ධතිය ගෙන යා යුතුව තිබුණේ ගල් ඇන්දක් දිගේයි. එය ඉතා අසීරු කාර්යයක්. ඒ නිසා විශාල ගල් බැම්මක් හදලා තමයි මාර්ගය ඉහළට අරගෙන ගිහින් තියෙන්නේ. නන්පේරියල් වතුයාය ආරම්භ කරන්නේ 1920 දී බව පැවසෙනවා. අප අද මෙලෙස මෙම පාරවල් දිගේ ගමන් කරමින් මේ සුන්දරත්වය විඳ ගත්තත්, එදා මේ කඳු හා ගල් මත ඝන කැලෑවල් මැද්දෙන් මේවා නිර්මාණය කරන්නට ඔවුන් මොනතරම් වෙහෙසක් දරන්න ඇති ද කියන එක අද අපට හිතාගන්නත් අපහසු තරම්.

top 10 places to visit in sri lanka Top 10 travel places  places to visit in sri lanka with family

නන්පේරියල් මාර්ගය උඩට වැටී තිබෙන්නේ බෙලිහුල්ඔය සහ හිරි කටු ඔය යන ඔයවල් දෙකේ නිම්නය මැදින්. හෝර්ටන් තැන්නෙන් ආරම්භ වන මේ ඔයවල් දෙක සමනලවැව ජලාශයෙන් එකතු වෙනවා. සොබාදහම මගින් අපූරුවට නිර්මාණය කරන ලද ස්ථාන රාශියක් මේ ගමනේදී දැකගත හැකියි. නන්පේරියල් වෙත යන දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙක් හිරිකඩු ඔයේ වගේම මෙහි බොහෝ සෙයින් දැකිය හැකි දිය ඇලි අසලත් නෑමට ඉතාමත් කැමතියි. නමුත් ඉහළ ප්‍රදේශයට වැසි ඇද හැලුනොත් එම ජල කඳ එකවරම නොසිතූ අයුරින් ජලධාරා ඔස්සේ පහළට ගලාගෙන එනවා. ක්ෂණිකව පැමිණෙන එවැනි ජල පහරවලින් ගැලවීම ලේසි නෑ. විශේෂයෙන් හිරිකඩු ඔය සහ බෙලිහුල් ඔය හෝර්ටන් තැන්නෙන් ආරම්භ වන නිසා ඉහළ ප්‍රදේශවලට වැසි ඇද හැලුනු විට මේ ඔයවල් වල එන ජල කඳ ඉතාමත්ම සැරයි. නමුත් ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉහළ ප්‍රදේශවලට වහිනවාද නැද්ද යන්න හොඳින් දන්නවා. ඒ නිසා කොතැනකට නාන්නට ගියත් අසල්වැසියන් වෙතින් දැනුවත් වී නාන්නට බැසීම ගුණදායකයි.

මේ සංචාරයේ යෙදෙන ඔබට ඉදිරියෙන් පෙනෙන ගොන්මලේ කඳු වැටිය දෙස බලන විට ඒ ආසන්නයෙන් ස්වභාවිකව නිර්මාණය වුණු ලංකාවේ හැඩය ඇති සිතියමක් දක්නට ලැබෙනවා. තවත් පැත්තකින් ගොන්මොල්ලිය කඳුවැටිය, බලතුඩුව කන්ද, ආදර කන්ද දැකගත හැකියි. ගොන්මොල්ලිය, බලතුඩුව කන්දෙන් එහා පැත්තේ යකාගෙ පඩිපෙළ මාර්ගය පිහිටා තිබෙනවා.

top 10 places to visit in sri lanka Top 10 travel places  places to visit in sri lanka with family නැග්රක් බංගලාව තිබෙන්නේ මේ වතුයාය ඇතුළේ උසම කොටසේයි. ඒ මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක් උඩින්. ඒ කියන්නේ ශ්‍රීපාද කන්දට වඩා උසින් අඩු වන්නේ අඩි 359ක් පමණයි. ශ්‍රී පාද කන්දේ උස අඩි 7359 ක්. නන්පේරියල් වතුයායේ නැග්රක් බංගලාව පිහිටා තිබෙන කොටස නැග්රක් ඩිවිෂන් එක කියලා හඳුන්වනවා.

1920 දී නන්පේරියල් වතුයාය ආරම්භ කළත් බේකර්ස් විසින් මෙම නැග්රක් බංගලාව ඉදිකරන්නේ 1938 වැනි කාලයක බවයි සඳහන් වන්නේ. මේ වතුයාය ආරම්භ කිරීමෙන් පසු දිනක් ඔහු, ඔහිය දක්වා යන ගමනකදී මේ බංගලාව පිහිටා ඇති ප්‍රදේශය හරහා තමයි ගමන් කර තිබෙන්නේ. එවිට ඔහු මේ ස්ථානයේ තිබූ මනස්කාන්ත බව දැක මෙතැන බංගලාවක් නිර්මාණය කිරීමට අදිටන් කරගන්නවා. ඒ අනුව තමයි ඔහු නැග්රක් බංගලාව ඉදිකරන්නේ. මේ මොහොත වන විට එය අවුරුදු 85ක් පමණ පැරණි වුවත් තවමත් ඒ වතු බංගලාවේ සුන්දරත්වය ඒ විදිහටම ආරක්ෂා වී තිබෙනවා. මෙහි කාමර පහක් තිබෙන අතර එකවර දස දෙනෙකුට නවාතැන් ගත හැකියි. නමුත් කලින් වෙන්කර ගත යුතු වෙනවා. බංගලාවේ භාරකරු හැරුණු විට අරක්කැමියන් දෙදෙනෙකුද සිටිනවා . ඔබට කැමති දෙයක් රැගෙන ගොස් ඒ අරක්කැමියන් ලවා පිසගත හැකියි.

බෙලිහුල්ඔය සිට ආරම්භ වී නන්පේරියල් වතුයායේ පිවිසුම් දොරටුව අසල දක්වා ගමන් කරන ලංගම බස් රථයක් ද තිබෙනවා. වතු යායෙන් මෙපිට ඇති කුඩා පාසල සහ ප්‍රාදේශීය රෝහල වෙත යන අය සඳහා තමයි විශේෂයෙන් මෙම බස් රථය යොදවා තිබෙන්නේ. ඒ හැරුණු විට නන්පේරියල් යන සංචාරකයින් ද මෙම බස් රථයෙන් ගමන් කරනවා.

top 10 places to visit in sri lanka Top 10 travel places  places to visit in sri lanka with family

මේ සුන්දර අත්දැකීම ඔබට ලබන්නට හැකි නම් ලෝකයේ මේ තරම් ස්වභාවික සෞන්දර්යයෙන් අනූන වූ රටක් තව කොහේවත් නැති බව ඔබට සිතෙනු නිසැකයි.

විස්තර සපයා දුන් පරිසරවේදී, සංචාරක මාර්ගෝපදේශක ගැමුණු මධුෂාන් සහ ඡායාරූප ලබා දුන් පරිසරවේදිනී සොනාලි ප්‍රේමරත්න යන අයට අපගේ ස්තුතිය.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව