ස්ත්‍රී පරපුර වෙනුවෙන් දොස්තර නෝනා කෙනකුගෙන් පත්තිනියට චෝදනාවක්

දේවාල බිමේ දී දැරියක ගේ මල්වර වීමක් සිදුවීම මුල් කොට නවගමුව පත්තිනි දේවාලය දින නියමයක් නොමැතිව වසා දැමුණු පුවතක් පසුගිය දා අපට අසන්නට ලැබුණා.එහෙත්, ඒ ප්‍රවෘත්තිය සම්පාදනය වීමේ දීම සිදු වූ බරපතල දෝෂයකුත් දකින්නට පුළුවන්.ඊට හේතුව ඒ පුවතේ සඳහන් “දැරියක මල්වර වීම” යන්න “දැරියක මල්වර වීම බාහිරට ප්‍රදර්ශනය වීම” යනුවෙන් වඩාත් නිවැරදි එහි සඳහන් නොවීමයි.මල්වරය යන සාම්ප්‍රදායික නමින් හැඳින්වෙන්නේ දැරියකගේ මුල්ම මාස් ශුද්ධිය බව අමුතුවෙන් කිව යුතු නැහැ.අප ගේ ජන සංස්කෘතියට අනුව එය “මල්වර කිල්ල’ ලෙසත් ඉන් පසු ආර්ථවහරණ අවදිය තෙක් කාන්තාවන් හට සිදුවන මාස් ශුද්ධිය “මාස් කිල්ල”ලෙසත් ජන වහරේ හැඳින්වෙනවා.නමුත් එදිනෙදා ජීවිතයේ සිදුවන සාමාන්‍ය සංසිද්ධියක් වන කාන්තාවගේ මාස් ශුද්ධිය හා ඊට මුහුණ දී හිඳින කතුන් දේවාලයට පැමිණීම මුල් කොට  විධිමත් විමර්ශනයක් කළ හොත් මෙම දේවාලය හැමදාම හෝ වසරින් වැඩි දිනයක් වසා තැබීමට සිදුවනවාට සැකයක් නැහැ.නමුත් එම අවස්ථා මෙම දැරියගේ මෙන් බාහිරට ප්‍රදර්ශනය නොවීම මත දේවාලය එම වසා දැමීමේ අවදානමින් මිදී ඇති බවයි කිව යුත්තේ.මේ එම සංසිද්ධිය නව පරපුරේ කිවිඳියගේ ද්‍රෂ්ඨි කෝණයට යොමු වී ඇති ආකාරයයි.

මෙහි දී ස්ත්‍රීත්වයට එරෙහි එම අසාධාරණය සම්බන්ධයෙන් පත්තිනියට චෝදනා නඟන(විළි  බියෙන් පුද බිමෙන් අහකටම විසි වුනී. .කිළි වුයෙන්  සැඟවිණිද.. නුඹ සිද්ධ පත්තිනී…!?”) නඟන මෙම කිවිඳිය එමඟින් පත්තිනිය  පිළිබඳව හෙළන උපහාසාත්මක  ද්‍රෂ්ඨිය(දෙවොල හද මඬල දුක උහුළනා ගැහැණියට.බලව  පත්තිනිය…මල්වර ද ඇගෙ සළුව යට..) රසාස්වාදන සීමාව තුළම තබා ගැනීම විශේෂත්වයක්.

මෙම කිවිඳිය වෘත්තියෙන් රජයේ වෛද්‍යවරියක වන වත්සලා කනන්ගරයි.මිනු/බඩල්ගම ශ්‍රී සරණතිස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පස් වන ශ්‍රෙණියේ ශිෂ්‍යත්වයෙන් සමත්ව හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළුවන වත්සලා පසුව කැලණි විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය විද්‍යා මූලික උපාධිය හිමි කර ගෙන තිබෙනවා. දිසා විනිසුරු වරයකු හා විවාහ වී හිඳින වත්සලා එක් දරු මවක්.ගම්බද විදුහල් පතිවරයකු වූ තම පියාණන් කුඩා කල තමන් අතර පත් කළ සෝවියට කෙටි කතා පොත් මඟින් සාහිත්‍ය රසයේ රන් කිරි කට ගෑ බව පවසන වත්සලා තමන් වෛද්‍ය උපාධියට සැරසෙන අවදියේ පියා මෙලොවින් සමු ගැනීම තම ජීවිතයේ අතිශය සංවේදී සිදුවීමක් බව ද පවසනවා.දැන් අපි වත්සලා ගේ ඒ කාව්‍ය නිර්මාණය වෙත යොමු වෙමු.

“නවගමුව පත්තිනි දේවාලය දැරියක් මල්වර වීම නිසා වැසෙයි” පුවතක්

පිණි පොදෙන් දොඹ මලින් ඉපදෙන්න බැරිවුනී…
ගිනි හුයෙන් නයි විසෙන් මතුවෙන්න සිදුවිනී…
විළි  බියෙන් පුද බිමෙන් අහකටම විසි වුනී..
කිළි වුයෙන්  සැඟවිණිද.. නුඹ සිද්ධ පත්තිනී…!?
සැඳෑ වරුවක කුස්සි මුල්ලකින් පොල් ගාන..
උදේ වරුවක ලිපක අද්දරින් දුම් දාන..
කෑම පැයකදි දුකක හැඩ හුරුව හති දාන
සුමේ දැක දෙවොල් බිම නිවුණා ද තෙල් පාන..?
මලක හැඩ කුමට මල් තළා ලන ලෝකයට ..
ගලක තද කවමි හමුවෙනා හැම දියණිය ට.
දෙවොල හද මඬල දුක උහුළනා ගැහැණියට.
බලව  පත්තිනිය…මල්වර ද ඇගෙ සළුව යට…!!?

වත්සලා කන්නන්ගර

wall එක