භික්ෂූන් මුදලාලිලා වුණොත් තරුණ පරපුරට පන්සල එපා වේවි

“බුදු සසුන බැබලේ වා!” යන වදන ශ්‍රී ලංකේය බෞද්ධයනට කෙසේ වත් නුහුරු නුපුරුදු එකක් නොවේ.මෙය අද වන විට අප සමාජයේ කෙතරම් භාවිතයට ගෙන තිබිණි ද යත් 1956 වසරේ යෙදී තිබූ 2500 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මුල් කොට මෙම වදන එවක සමාජයේ විසූ රළු පරළු මිනිසුන්ගේ පපුවේ පච්ච කොටා ගැනීම සඳහා ද යොදා ගැනුණු බව එම වැකිය සහිත පච්ච සළකුණක් පපුවේ තිබූ අපේ ගම් ප්‍රදේශයේ වැඩිහිටියකුගෙන් මට දැනගත හැකි විය.එහෙත්, මේ බුදු සසුන යනු කුමක්ද?යන්න අප ගම් ප්‍රදේශයේ ගැමියා සේම වත්මන් සමාජයේ ගිහි පැවිදි බොහෝ දෙනකු හරිහැටි වටහා ගෙන නොමැති බවක් පෙනෙයි.

මූලික බුදු සමයට අනුව සාසන හෙවත් ශාසන යනු බුදුන් වදාළ දහම මිස අනෙ`කන් නොවේ.පසුව ඒ දහම රැක ගනීම පිණිස ස්ථාපනය කර ගන්නා ලද සමාජ සංස්ථා ව්‍යුහය ද පසුව ශාසනය ලෙසම හඳුන්වන ලදී.නමුදු ඒ ශාසන ස්ථාපනයේ මූලික අරමුණ විය යුත්තේ චිත්ත දමනය මුල් කොට ගත් බෞද්ධ සදාචාර මාර්ගයෙන් ජනතාව හික්මවීම ය.ඒ සඳහා බෞද්ධයන්ට ධෛර්ය ශක්තිය ලබා දිය යුත්තේ භික්ෂු ප්‍රජාව විසිනි.නමුත් වර්තමානයේ බුද්ධ ශාසනය නමින් හඳුන්වන ක්‍රියාකාරී ව්‍යුහය;යාන්ත්‍රණය තුළ මෙම මූලික අරමුණ අතිශය නොවැදගත් සාධකයක් වී ඇති බව නොරහසකි.ජනතාව තමනට වාසිදායක පූජා චාරිත්‍ර සහ අභිචාර ආදී කටයුතු කෙරෙහි යොමු කරවීම බුද්ධ කාලයට පෙර සිට පැවැති පූජක සිරිතකි.නමුත් නෛසර්ගික වශයෙන් ශ්‍රමණ සම්ප්‍රදායට අයත් භික්ෂූන් අද බුදු මඟින් පැන බුදුන්ගේ අනවසරයෙන් පූජක වෙස් ගෙන කටයුතු කරනු දක්නට පුළුවන.මෙම සමස්ත ක්‍රියාදාමය ආර්ථික සාධක මත රැඳී පවතී.”විහාර කර්මාන්තය” යන නම බෞද්ධයන්ට නුහුරු නුපුරුදු දෙයක් නොවේ.එහෙත්, අද වන විට සසුන් මඟ යටපත් කොට මෙම විහාර කර්මාන්ත කෙතරම් ඉස්මතුව තිබේ ද යත් තනා නිම කළ නිවෙස් දැකිය හැකි මුත් තනා නිම වන පන්සල් දැකිය නොහැකි බව බෞද්ධ සේම අන්‍යාගමිකයන් අතරේ ද ප්‍රසිද්ධ රහසක් ව පවතී.

ශාසනික වශයෙන් කිසිදු අර්ථ කථනයකට ලක් කළ නොහැකි “විහාරාධිපති” නම් තනතුර මගින් විහාරස්ථානය සම්බන්ධ මූල්‍ය පරිපාලනය සහ සෙසු සෑම කළමණාකාර කටයුත්තක්ම සිය`තට ගෙන හිඳින බොහෝ භික්ෂුන් මේ වන විට එදිනෙදා බුදු සසුන සුරැකීම “යකඩ කට වල”ට පවරා ශාසන සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන බවට පොදු සමාජමය චෝදනාවක් ද එල්ල වී තිබේ. විශේෂයෙන් කිසිදු විචාරාත්මක පදනමකින් තොරව නාගරික අර්ධ නාගරික සේම ගම්බද ප්‍රදේශවල පවා බරපතල ශබ්ද දූෂණයක් ඇති වන අන්දමට ශබ්ද විකාශන මගින් උදය, සවස පන්සිල් සහ සෙත් පිරිත් ප්‍රචාරය කිරීමේ නව විලාසිතාව අපගේ බෞද්ධයන් රැවටීම පිළිබඳ මෝඩ උපාය මාර්ගයකින් බැහැරව නොයන බව අප අවංකවම පිළිගත යුතු ය. එසේ ශබ්ද වාහිනී මගින් උදය හවස යකඩ හඬින් විකාශනය වන පංචශීලය සමාදන් කරවීම් අනුව පන්සිල් සමාදන් වන සහ සැදැහැ සිතින් යුතුව එම සෙත් පිරිත් සජ්ජායනා කරන එකම බොදුනුවකු වත් නොමැති බව සහසුද්දෙන්ම දැන දැනත් අප රටේ විහාරාධිපති භික්ෂුන් බුදු දහම සුරැකීමේ දෛනික රාජකාරිය යකඩ කටවල් වලට භාර කිරීම තරම් තවත් විහිළු අප සමාජයෙන් සපයා ගත හැකි නම් ඒ ඉතා අඩුවෙනි.එලෙස පන්සලේ ශබ්ද විකාශනයෙන් බරපතල ශබ්ද දූෂණයක් ඇති වන අන්දමට සෙත් පිරිත් ප්‍රචාරය කරවන භික්ෂූන් ඒ මොහොතේ තම තමන් ගේ ආවාස ගෙවල් තුළට වී “අන්‍ය ක්‍රියාකාරකම්”වල යෙදෙන බවට පොදු සමාජයෙන් එල්ල වන චෝදනාව සපුරා බැහැර කිරීමට අපට නොපුළුවන.

එමෙන්ම බෞද්ධ ආගමික සහ සංස්කෘතික වශයෙන් වැදගත් දින සහ ස්ථාන මුල්කොට අප රටේ සිදුවන මහා පරිමාන ජාවාරම් ජාලය ද භික්ෂු ප්‍රධානත්වයෙන් සහ කළමණාකරණයෙන් සිදුවන අතර එහි බරපතල ම ජාවාරම් යාන්ත්‍රණය වෙසක් පොසොන් පින්කම් මුල් කොට ක්‍රියාත්මක කෙරෙනු ඇත.මේවා තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වන අතර “අද නිවන් යන්නත් සල්ලි නැතුව බැහැ”යන බරපතල මිථ්‍යාව සමාජ ගත වීම දක්වා මෙම තත්වය නරක අතට හැරී තිබේ.

ශ්‍රී ලංකාවට ආවේණික සත්ව උප විශේෂයක් වන රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කරන බවට මහත් ආන්දෝලනාත්මක පුවතක් පසු ගිය දිනවල සමාජය පුරා පැතිරුණි. එම සතුන් ලක්ෂය චීනයේ සත්වෝද්‍යාන වලට යැවෙන බවට පැවසුණ ද එය සත්‍යයක් නොවන බවත් ඔවුන් එහි දී පර්යේෂණ හෝ මිනිස් ආහාරය සඳහා ඝාතනය කෙරෙන බවටත් පරිසරවේදීහු රජයට චෝදනා කළහ. එහෙත් පරම අවිහිංසාවාදී දහමක් පදනම් කරගත් ශ්‍රී ලාංකේය බුදු සමයේ මුර දේවතාවුන් වශයෙන් සමාජය විසින් හඳුන්වනු ලබන මහ නා හිමිවරුන් ප්‍රමුඛ රූපවාහිනී “වොයිස් කට්” මගින් ජනකාන්ත මට්ටමට පැමිණි කිසිම භික්ෂුවක් ඒ මහා සත්ව ඝාතනයට එරෙහිව එක් වදනකුදු කතා නොකිරීම අප රටේ භික්ෂුන් කෙරෙහි පවත්නා පොදු ජන ආකල්පය බරපතල ලෙස අවප්‍රමාණ කරවන්නක් බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය. පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පමණක් එසේ අප රටේ රිලවුන් හිතුමනාපයට පිටරට වලට ගෙන යාමට ඉඩ නොදන බව පවසා සිටි අතර ඒ උන්වහන්සේ ද පරිසර ක්‍රියාධරයකු වශයෙන් ප්‍රකටව හිඳින නිසා දැයි අපට නොවැටහේ.අඩුම තරමින් මෙම සත්ව ගහණය පාලනය කිරීමේ දී අහිංසාවාදී පියවරක් ගන්නා ලෙස වත් මෙරට භික්ෂු ප්‍රජාව තුළින් ප්‍රබල හඬක් මතුව නැත.එය ඔවුන්ගේ ආධ්‍යාත්මික ශූන්‍යත්වය පිළිබඳ කදිම සංකේතයක් යැයි යමකුට හැඟී යන්නට පුළුවන මෙවන් තත්වයන් තුළ ලෞකිකත්වයෙන් අත්මිදුණු ශ්‍රමණ බව අතහැර හිඳින නුතන භික්ෂු ප්‍රජාව අතුරින් බහුතරය ආගමික ව්‍යාපාර සහ ආගමික ජාවාරම් වල යෙදෙන මුදලාලි පරපුරක් සේ ඉස්මතු ව පෙනීම මත නූතන තරුණ පරපුර නූතන බුදු සමයෙන් දුරස්ව පන්සලක් පැත්ත පළාතේ නොයන තත්වයක් හට ගැනීමේ පැහැදිලි අවදානමක් මතුව තිබේ.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ